Tuesday, May 8, 2012

ජන ගීය හා මූලාරම්භය


ජන ගීය හා මූලාරම්භය 


පසු ගිය ලිපියෙන් හෙළ ජන ගීය පිලිබඳ සටහන් සඳහා හැඳින්වීමක් ඉදිරිපත් කලෙමි. මෙහි දැක් වෙන්නේ ජනගීයේ මූලාරම්භය පිළිබඳව ය. ජන ගී පිලිබඳ වැඩි තොරතුරු සාකච්ඡා කිරීමට පෙර ජන ගීයේ උපත, ජන ගී සඳහා හේතු සාධක මොනවාද යන්න දැන සිටිය යුතුය. 

ජන කවිය  ජනශ්‍රැතියේම එක් අංගයකි. එම නිසා ජන කවි පිලිබඳ විස්තර කිරීමට පෙර ජනශ්‍රැති පිලිබඳ සටහනක් කළ යුතුය.ශ්‍රැතිය නමින් හැදින්වෙන්නේ මුඛ පරම්පරාගතව පැවතෙන දේවල් ය. ඕනෑම රටක ඕනෑම කාලයක ජීවත් වෙන ජනයා 'ජන' ලෙස හැඳින්වේ. එබැවින් ජනශ්‍රැති යන්නෙහි ඉතා සරල අදහස නම් "ජනයා විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන දේ" යන්නය. ජන කවි, ජන නාට්‍ය, ජන ඇදහිලි හා විශ්වාස ආදී සියලු දෑ මීට අයත් .

ජනශ්‍රැති අප රටට පමණක් ආවේනික වූවක් නොවේ. සෑම රටකටම සෑම ජාතියකටම  ජනශ්‍රැති  පොදු වේ. යම රටක හෝ සමාජයක් පිළිබඳව අධ්‍යයන කටයුතු කරන්නේ නම්  ජනශ්‍රැති  පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. සාහිත්‍යය, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර හැදෑරීමේදී තොරතුරු ලබා ගැනීම සදහා  ජනශ්‍රැති  ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි.

ජන කවිය නම් අදහස් ප්‍රකාශ කළ හැකි ඉතා සුන්දර වූ මාධ්‍යයකි. ජනයා විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන බැවින් ජන කවි නමින් හැඳින්වේ. ජන කවියා තම සිතැඟි ජන කවිය තුලින් අපූර්වත්වයෙන් ඉදිරිපත් කළේය. තම හිතෙහි ඇති වන සතුට, දුක, පාළුව, තනිකම, වේදනාව, බිය ආදී හැගීම් ජන කවියේ අඩංගු කර ඇත. 



හෙළ ගී මූලික වශයෙන් සේ ගී හා ගැමි ගී ලෙස ප්‍රධානව කොටස් දෙකකට වර්ග කළ හැක. වියතුන් විසින් රචනා කර ඇති ගැමි වහරට පත් නොවී ඔවුන් අතරම භාවිතා වන ගී 'සේ ගී' වන අතර ග්‍රාමීය ව්‍යවහාරයෙන් එන ගැමියන් විසින් පද මාලාව මෙන්ම නාද මාලාවද නිපැයුණු ඔවුන් අතරම භාවිත වන පැදි 'ගැමි ගී' ලෙස හැඳින්වේ.

ගැමි ගී ප්‍රස්තුතය අනුව බැති ගී, යාග ගී, මෙහෙ ගී, සමාජ ගී, කෙලි ගී, නළු ගී, විරිදු ගී, රණ ගී, වැනුම් ගී, ලෙස වර්ග කර ගත හැක. 

ජන කවියේ ආරම්භය සිදු වූයේ ශිෂ්ඨාචාරයටත් ප්‍රථම වනචාරී යුගයේදී බව ඇතැම් අයගේ විශ්වාසයයි. තවත් අයගේ විශ්වාසය වන්නේ ආදී මිනිසුන් විසින් යක්ෂ භූත ආදීන්ට කළ යාඥා විශේෂයක් විකාශය වීමෙන් කවියේ උපත සිදු වී ඇති බවයි. වර්තමානයේ බොහෝ අය කවියේ උපත සිදු වූ ආකාරය පිලිබඳ සෙවීමට උනන්දු වෙති. එමෙන්ම පෙර විසූ අයද කවියේ උපත ගැන සෙවීමට උනන්දු වූ බවට සාක්ෂි පවතී. එයට නිදසුනක් පහත වේ. 

                                අහස උපන් තැන සකි නුඹ       දන්නවද
                                පොලව උපන් තැන සකි නුඹ   දන්නවද
                                මුහුද උපන් තැන සකි නුඹ        දන්නවද
                                කවිය උපන් තැන සකි නුඹ      දන්නවද


උගත් සාහිත්‍යයක් බිහි වීමට පෙර ජන කවි පහල වීම ස්වභාවිකය. එබැවින් ශාස්ත්‍රීය කාව්‍යට වඩා ජන කවි පැරණි බව විශ්වාසය වේ. 

මතු සබැඳි ...

1 comment:

  1. ප්‍රසා...:)May 17, 2012 at 10:40 AM

    අහස උපන් තැන සකි මම දන්නෙමි
    පොලව උපන් තැන සකි මම දන්නෙමි
    මුහුද උපන් තැන සකි මම දන්නෙමි
    කවිය උපන් තැන සිත බව දන්නෙමි


    ඉතාමත් අපූරු ලිපියක්....ජන කවිය පිලිබදව මතකය අවදි කිරීම පිලිබදව මම ඔබට තුති පුදමි.......

    ReplyDelete