Saturday, July 14, 2012

ජන ගීයෙහි විශේෂ ලක්ෂණ.



හෙළ ජන ගීය පිළිබඳව සටහන් කෙරෙන ලිපි මාලාවේ පසුගිය ලිපියෙන් ජන ගීයෙහි මූලාරම්භය පිළිබඳව සටහන් කලෙමි. මෙම සටහනින් ජන ගීයෙහි ඇති විශේෂ ලක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කලෙමි. 



ගැමි ගීයෙහි නැතහොත් ග්‍රාමීය සංගීතයෙහි ප්‍රභවය, ව්‍යාප්තිය, පැවැත්ම. පරිශීලනය, ආදී කරුණු සලකා බලන කල්හි එය ගැමියා විසින් ගැමියා සඳහා සකසා ගන්න ලද ගැමියා විසින්ම කාලෝචිත හා අවස්ථාවෝචිත ලෙස වෙනස් කරමින් රැක ගනු ලබන ගී නැතහොත් සංගීතය ලෙස හඳුනා ගත හැක. මෙහිදී ගැමියා ලෙස අදහස් කරනුයේ මානසික වර්ධනය විධිමත් පුහුණුවකින් හෝ අධ්‍යාපනයකින් සැකසුන ය නොව ස්වභාවික පරිසරයත්, සාමාජීය සහජීවනයත්, ජීවිතයේ දුක, සතුට මුහුණ පෑමෙන් ලබන අත්දැකීම් වලින් අධ්‍යාපනය සැලසුන ය වෙති. ඔවුන් ක්‍රමවත් අධ්‍යාපනයක්  නොලද්දෝය. නමුත් ඔවුන් අඥානයෝ නොවෙති. ඔවුහු බොහෝ දැනුම කුසලතාවන්ගෙන් හෙබි පුද්ගලයෝ වෙති. 


ග්‍රාමීය සංගීතය මුඛ පරම්පරානුසාරයෙන් ව්‍යාප්ත වූ සංගීතයකි. ජන ගී පිලිබඳ පුළුල් පර්යේෂණ කර හෙළ ගී මග නම් වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කල ඩබ්.බී.මකුලොලුව මහතා ජන ගී සම්ප්‍රදාය හැඩගස්වන කරුණු පහත දැක්වෙන ලෙස සඳහන් කරයි. 


−       වර්තමානය අතීතය සමඟ සම්බන්ධ කරන අඛණ්ඩ පැවැත්ම.
−       පුද්ගලයෙකු හෝ සමුහයාගේ නිර්මාණ කුසලතාවයෙන් ඇති වෙන විවිධත්වය.
−       සමාජය විසින් තෝරා පිළිගැනීම


ගැමි ගීයක හෝ ජන සංගීතයක තිබිය යුතු ලක්ෂණ පහත දැක් වේ.


1.     විධිමත් අධ්‍යාපනයක්‌ හෝ පුහුණුවක් නොලත් උගතුන් හා සමීප ආශ්‍රයක් නොමැති ක්‍රමවත් අධ්‍යාපනයක් නොලත් පොදු ජනයා අතින් පද මාලාව හා නාද මාලාව නිර්මාණය වීම

2.     පොදු ජනයාගේ සිතුම් පැතුම් ඇදහිලි ජනකතා ඓතිහාසික සිදුවීම් ජීවන වෘත්තීන් ජීවිතය පිලිබඳ අත්දැකීම් විශ්වාසය ආදී කරුණු ගැමි ගීයෙහි ප්‍රස්තුතය වීම

3.     පොදු ජනයා විසින් සාමුහිකව පිළිගනු ලැබීම. ඔවුන් අතර ව්‍යාප්ත වීම හා මුඛ පරම්පරාවෙන් ව්‍යාප්ති වීම

4.     අවස්තනුරූපව, කාලෝචිත ලෙස ප්‍රාදේශීය වශයෙන් පද මාලාව හා නාද මාලාව යන දෙඅංගයම වෙනස් වීමෙන් එහි රක්ෂණය සැලසීම

5.     කිසියම් කාර්යයකට අදාළ වීම

6.     වෙනස් වෙමින් එන අඛණ්ඩ පැවැත්මෙන් එහි සාම්ප්‍රදායක ශෛලිය සැලසීම
7.     නිර්මාපකයා හෝ රචකයා නිර්නාමික වීම


හෙළ ජන ගීය පිලිබඳ තවත් ලිපියකින් නැවත හමුවෙමු.

~මතු සබැඳි ~
~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~


Friday, July 6, 2012

භාරතයේ පැරණි බෞද්ධ විශ්ව විද්‍යාල - නාලන්දා මහා විහාරය





ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව භාරතීය බෞද්ධයන් සතුව ඉතා විශිෂ්ට ගණයේ බෞද්ධ විශ්ව විද්‍යාල තිබු බවට සාධක පවතී.දීප වංශය මහා වංශය යන වංශ කතා වල එවකට භාරතයේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන  තත්වය පිලිබඳ තොරතුරු වාර්තා කර ඇත. එම බෞද්ධ විශ්ව  විද්‍යාල ඉතා විශිෂ්ට ගණයේ ඒවා වූ බව වියතුන්ගේ මතය වේ.


භාරතයේ බෞද්ධ විශ්ව විද්‍යාල පිලිබඳ සටහන් කිරීමෙදී නාලන්දා විශ්ව විද්‍යාලය විශේෂ තැනක් ගනී.මේ සටහන එම බෞද්ධ අධ්‍යාපන ආයතනය පිලිබඳවය.

උසස්   අධ්‍යාපන ආයතන සඳහා බෞද්ධයන් භාවිත කල යෙදුම වූයේ "මහා විහාර " යන්නය. ඓතිහාසික තොරතුරු වලට අනුව නාලන්දා මහා විහාරය ඉදි කරන ලද්දේ පළමුවැනි කුමාරගුප්ත රජු (ක්‍රි.ව.415-455) විසිනි. නාලන්දා මහා විහාරය ද ආගමික වත් පිළිවෙත් සඳහා ඉදි කරන ලද පන්සලක් හෝ සංඝාවාසයක් නොවේ. භික්ෂූන් වහන්සේලා ට උසස්   අධ්‍යාපනයක් ලබා දීම සඳහා අරඹන ලද   අධ්‍යාපන ආයතනයකි.




පසු කාලීනව බුද්ධගුප්ත රජ (ක්‍රි.ව.455-467), තථාගත ගුප්ත රජ (ක්‍රි.ව.467-500), වජ්‍ර රජ (ක්‍රි.ව.525) යන රජවරු විවිධ විහාරාංග ඉදි කොට මෙය පුළුල් කළහ. දස වැනි ශත වර්ෂය වන විට නාලන්දා විශ්ව විද්‍යාලය 10 000 කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් වලින් යුතු විශාල විද්‍යා පීඨයක් බවට පත්ව තිබිණි. නාලන්දා විශ්ව විද්‍යාලයෙහි ඉදි කරන ලද සියලු ගොඩ නැගිලි මහල් නිවාස විය. විශ්ව විද්‍යාල භූමියෙහි කැනීම් වලින් හමු වූ ශිලා ලේඛනයක සඳහන් වන පරිදි එහි වලාකුළු ස්පර්ශ කරන කූටාගාර පන්ති ගැන සඳහන්ව තිබී ඇත.




දේශ සංචාරක හියුන්සියෑන් තෙරණුවන් සිය දේශාටන වෘතාන්ත සටහන් වල නාලන්දා විශ්ව විද්‍යාලය පිලිබඳ බොහෝ තොරතුරු සඳහන් කර ඇත.හියුන්සියෑන් භ්‍රමණ  වෘතාන්ත සටහන් වල සඳහන් වන පරිදි මෙම සංඝාවාසය දුටුවන් විස්මයට පත් කරවන්නකි. මෙහි නේවාසික සංඛ්‍යාව දස දහසකට අඩු නොවේ. සියලු දෙනාම මහායානික ග්‍රන්ථ උගත්තෝය. මෙහි නේවාසිකව වාසය කල ආචාර්ය, ශිෂ්‍ය, සේවක, පිරිස අතරින් 1510 ක් ආචාර්ය වරුය. එම ආචාර්ය මණ්ඩලයට ඇපඋපස්ථාන කිරීමට 'මානව' නමින් හැඳින්වුණු එක්දහස් පන්සියයක පමණ පිරිසක් සිටින්නට ඇත. මෙම මානවකයෝ ආචාර්ය වරුන්ට ඇප උපස්ථාන කරන අතරම අධ්‍යයන කටයුතු වලද නිරත වී ඇත. එහි ඉගෙනීමෙහි නියැලී සිටි වැඩි පිරිස භික්ෂූන් වහන්සේ ය. දේශීය විදේශීය මෙන්ම බෞද්ධ අබෞද්ධ ශිෂ්‍යයෝ සිප් සතර හදාළහ.



නාලන්දා විශ්ව  විද්‍යාලයෙහි ඉගෙනීම සිදු කල පිරිස ප්‍රධාන ලෙස කොටස් 03 කි.

1. මූලික අධ්‍යාපනය ලබා අවු:15 සපිරුණ ප්‍රදේශ වාසී ශිෂ්‍යයෝ. මොවුන් පුරා 08 වසරක් අධ්‍යාපනය ලැබිය යුතුය.

2. මූලික හා ද්විතියික අධ්‍යාපනය නිම කර වයස අවු:20 සපිරුණ උපාධි අපේක්ෂකයන් ලෙස.
මොවුන් වසර 03 ක් අධ්‍යාපනය ලැබිය යුතුය.

3. උසස් අධ්‍යාපනය හදාරා අවසන් වූ පසු තම දැනුම ඔප මට්ටම් කර ගැනීමට හෝ විශ්ව විද්‍යාලයෙහි කීර්තිය නිසා ඇතුලත් වන ය.මොවුන් වත්මන් වහරට අනුව පශ්චාත්  උපාධි අපේක්ෂකයන් ලෙස හඳුනා ගත හැක.

නාලන්දා විශ්ව විද්‍යාලයෙහි ප්‍රවේශ පරීක්ෂණය අතිශය තියුණු විය. අපේක්ෂක පිරිස වැඩි වීම එයට හේතු වන්නට ඇත. ප්‍රවේශයෙන්  20% පමණ පිරිසක් පමණක් සමත් වී ඇත.

නාලන්දා විශ්ව විද්‍යාලයෙහි මන්දිර තුනකින් සැදුම් ලත් සුවිසල් පුස්තකාලයක් ද විය. එහි මහායාන බුදුදහමට අදාළ ග්‍රන්ථ පමණක් තැන්පත් කොට තිබී ඇත. එහි   අධ්‍යාපනය සම්පූර්ණයෙන් නිදහස්ය, ආහාර පාන නේවාසික පහසුකම් නොමිලයේ සැපයින. පෙරවීමට එක හා සමාන සිවුරු පවා සැපයින. රජවරු විසින් නාලන්දා මහාවිහාරයට පුද කරන ලද ගම් වර දෙසියයක් පැවතීම නිසා සිවුපසයෙන් කිසිදු අඩුවක් නොවේ. සියලු කාලය ඉගෙනුමට කැප කිරීමට ශිෂ්‍යයින්ට  හැකි විය. සංඝාවාසයේ කාමර භික්ෂූන්ගේ තත්වය අනුව වෙන්කර තිබිණ. උගත්, සිල්වත් වයෝවෘද්ධ භික්ෂූනට විශාල කාමරද ශිෂ්‍ය භික්ෂූන්ට කුඩා කාමර ද ලෙස ද වෙන්කර තිබී ඇත.
අධ්‍යයන කටයුතු වලට මෙන්ම අහාර ගැනීමට, ජල ස්නානයට, බුද්ධ වන්දනාවට, චෛත්යු වන්දනාවට ඇතුළු සියලු කටයුතු සඳහා නියමිත කාල සටහන් තිබී ඇත. විනාඩි 45 කට වරක් බෙරයක් හඬවී ඇත.


නාලන්දා විශ්ව විද්‍යාලයේ පඬිවරු ටිබෙටය, චීනය ආදී රටවල් රැසක ධර්ම ප්‍රචාරණ කටයුතු වල නිරත විය. මෙය සෑම අතින්ම විශිෂ්ට ගනයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් බව පිලි ගැනින. සියලු අංග වලින් පරිපූර්ණ මෙම නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලය පුරා වසර දහසක් පමණ මහඟු සේවයක් සලසා ඇත.

දහතුන වැනි සියවසේ මුස්ලිම් ආක්‍රමණික භාක්තියාර් ඛිල්ජි නාලන්දය විනාශ කළේය. සංඝාරාමය ගිනිබත් විය, අවසානයේ ගින්නෙන් නොදැවුණු පොත් කියවා ගැනීමට වත් භික්ෂුවක් ඉතිරි වී නැත. මම කෲර ඝාතනය සිදු වූයේ ක්‍රි.ව. 1200 දී ය. විනාශ වූ විශ්ව විද්‍යාලය නැවත ඉදි කිරීමට මුද්රිතභද්‍ර තෙරණුවෝ කටයුතු කල නමුත් එය නැවත පිළිසකර කිරීම දුෂ්කර විය.


වසර 1000 ක පමණ භාරතයට ධර්මාලෝකය බෙදා දුන් ශ්‍රේෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ආයතනය එසේ නටඹුන් අතරට එක් විය.


~~  ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~




Tuesday, June 12, 2012

සල්ලාලයකුටද?






ඔබ
මට නොව
පැයේ කුලියට 
පෙම් කරනා
විලාසිනියකට
පෙම් 
කළා නම්....


එතකොට
මම
හ්ම්ම්ම්ම්...


පැයේ කුලියට
ආදරේ
හොයන
සල්ලාලයකුටද?

Monday, May 21, 2012

පුළුවන් වුනත් ඔයාට



දුටුවත්

නුදුටු විදියට

පුළුවන් වුනත්

ඉන්න

ඔයාට,

වාවන්නේ නෑ

ඒක

මේ

පුංචි හිතට,

සත්තමයි...

දෙකොපුල්

සාක්කි

රූරා වැටුණු

කඳුළු බිඳු

වලට...

Thursday, May 17, 2012

ස්වප්නෙකින් මගේ නොවේද ....





ස්වප්නෙකින් 


හමු වෙන්න


නෙතින් දැක 

සැනහෙන්න

ලඟින් ඉඳ

සනහන්න

පෙර කෙරූ 

පින් මදිද.....

සිතින් පෙම් 

බඳිමි මම

සදා ඔබ

මගේ නොවේද..

Thursday, May 10, 2012

දැන සිටියා ඉඳුරාම ...


රෑ පුරා 

නිදි නැතුව 


සිතුවේ මම 


ඔබ ගැනම 


විදෙව්වට


නිම් නැතුව 


දැන සිටියා


ඉඳුරාම 


කවද හරි 


එන බවට 


ආයෙමත් 


මගේ ලඟට 

Tuesday, May 8, 2012

ජන ගීය හා මූලාරම්භය


ජන ගීය හා මූලාරම්භය 


පසු ගිය ලිපියෙන් හෙළ ජන ගීය පිලිබඳ සටහන් සඳහා හැඳින්වීමක් ඉදිරිපත් කලෙමි. මෙහි දැක් වෙන්නේ ජනගීයේ මූලාරම්භය පිළිබඳව ය. ජන ගී පිලිබඳ වැඩි තොරතුරු සාකච්ඡා කිරීමට පෙර ජන ගීයේ උපත, ජන ගී සඳහා හේතු සාධක මොනවාද යන්න දැන සිටිය යුතුය. 

ජන කවිය  ජනශ්‍රැතියේම එක් අංගයකි. එම නිසා ජන කවි පිලිබඳ විස්තර කිරීමට පෙර ජනශ්‍රැති පිලිබඳ සටහනක් කළ යුතුය.ශ්‍රැතිය නමින් හැදින්වෙන්නේ මුඛ පරම්පරාගතව පැවතෙන දේවල් ය. ඕනෑම රටක ඕනෑම කාලයක ජීවත් වෙන ජනයා 'ජන' ලෙස හැඳින්වේ. එබැවින් ජනශ්‍රැති යන්නෙහි ඉතා සරල අදහස නම් "ජනයා විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන දේ" යන්නය. ජන කවි, ජන නාට්‍ය, ජන ඇදහිලි හා විශ්වාස ආදී සියලු දෑ මීට අයත් .

ජනශ්‍රැති අප රටට පමණක් ආවේනික වූවක් නොවේ. සෑම රටකටම සෑම ජාතියකටම  ජනශ්‍රැති  පොදු වේ. යම රටක හෝ සමාජයක් පිළිබඳව අධ්‍යයන කටයුතු කරන්නේ නම්  ජනශ්‍රැති  පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. සාහිත්‍යය, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර හැදෑරීමේදී තොරතුරු ලබා ගැනීම සදහා  ජනශ්‍රැති  ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි.

ජන කවිය නම් අදහස් ප්‍රකාශ කළ හැකි ඉතා සුන්දර වූ මාධ්‍යයකි. ජනයා විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන බැවින් ජන කවි නමින් හැඳින්වේ. ජන කවියා තම සිතැඟි ජන කවිය තුලින් අපූර්වත්වයෙන් ඉදිරිපත් කළේය. තම හිතෙහි ඇති වන සතුට, දුක, පාළුව, තනිකම, වේදනාව, බිය ආදී හැගීම් ජන කවියේ අඩංගු කර ඇත. 



හෙළ ගී මූලික වශයෙන් සේ ගී හා ගැමි ගී ලෙස ප්‍රධානව කොටස් දෙකකට වර්ග කළ හැක. වියතුන් විසින් රචනා කර ඇති ගැමි වහරට පත් නොවී ඔවුන් අතරම භාවිතා වන ගී 'සේ ගී' වන අතර ග්‍රාමීය ව්‍යවහාරයෙන් එන ගැමියන් විසින් පද මාලාව මෙන්ම නාද මාලාවද නිපැයුණු ඔවුන් අතරම භාවිත වන පැදි 'ගැමි ගී' ලෙස හැඳින්වේ.

ගැමි ගී ප්‍රස්තුතය අනුව බැති ගී, යාග ගී, මෙහෙ ගී, සමාජ ගී, කෙලි ගී, නළු ගී, විරිදු ගී, රණ ගී, වැනුම් ගී, ලෙස වර්ග කර ගත හැක. 

ජන කවියේ ආරම්භය සිදු වූයේ ශිෂ්ඨාචාරයටත් ප්‍රථම වනචාරී යුගයේදී බව ඇතැම් අයගේ විශ්වාසයයි. තවත් අයගේ විශ්වාසය වන්නේ ආදී මිනිසුන් විසින් යක්ෂ භූත ආදීන්ට කළ යාඥා විශේෂයක් විකාශය වීමෙන් කවියේ උපත සිදු වී ඇති බවයි. වර්තමානයේ බොහෝ අය කවියේ උපත සිදු වූ ආකාරය පිලිබඳ සෙවීමට උනන්දු වෙති. එමෙන්ම පෙර විසූ අයද කවියේ උපත ගැන සෙවීමට උනන්දු වූ බවට සාක්ෂි පවතී. එයට නිදසුනක් පහත වේ. 

                                අහස උපන් තැන සකි නුඹ       දන්නවද
                                පොලව උපන් තැන සකි නුඹ   දන්නවද
                                මුහුද උපන් තැන සකි නුඹ        දන්නවද
                                කවිය උපන් තැන සකි නුඹ      දන්නවද


උගත් සාහිත්‍යයක් බිහි වීමට පෙර ජන කවි පහල වීම ස්වභාවිකය. එබැවින් ශාස්ත්‍රීය කාව්‍යට වඩා ජන කවි පැරණි බව විශ්වාසය වේ. 

මතු සබැඳි ...