Friday, July 6, 2012

භාරතයේ පැරණි බෞද්ධ විශ්ව විද්‍යාල - නාලන්දා මහා විහාරය





ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව භාරතීය බෞද්ධයන් සතුව ඉතා විශිෂ්ට ගණයේ බෞද්ධ විශ්ව විද්‍යාල තිබු බවට සාධක පවතී.දීප වංශය මහා වංශය යන වංශ කතා වල එවකට භාරතයේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන  තත්වය පිලිබඳ තොරතුරු වාර්තා කර ඇත. එම බෞද්ධ විශ්ව  විද්‍යාල ඉතා විශිෂ්ට ගණයේ ඒවා වූ බව වියතුන්ගේ මතය වේ.


භාරතයේ බෞද්ධ විශ්ව විද්‍යාල පිලිබඳ සටහන් කිරීමෙදී නාලන්දා විශ්ව විද්‍යාලය විශේෂ තැනක් ගනී.මේ සටහන එම බෞද්ධ අධ්‍යාපන ආයතනය පිලිබඳවය.

උසස්   අධ්‍යාපන ආයතන සඳහා බෞද්ධයන් භාවිත කල යෙදුම වූයේ "මහා විහාර " යන්නය. ඓතිහාසික තොරතුරු වලට අනුව නාලන්දා මහා විහාරය ඉදි කරන ලද්දේ පළමුවැනි කුමාරගුප්ත රජු (ක්‍රි.ව.415-455) විසිනි. නාලන්දා මහා විහාරය ද ආගමික වත් පිළිවෙත් සඳහා ඉදි කරන ලද පන්සලක් හෝ සංඝාවාසයක් නොවේ. භික්ෂූන් වහන්සේලා ට උසස්   අධ්‍යාපනයක් ලබා දීම සඳහා අරඹන ලද   අධ්‍යාපන ආයතනයකි.




පසු කාලීනව බුද්ධගුප්ත රජ (ක්‍රි.ව.455-467), තථාගත ගුප්ත රජ (ක්‍රි.ව.467-500), වජ්‍ර රජ (ක්‍රි.ව.525) යන රජවරු විවිධ විහාරාංග ඉදි කොට මෙය පුළුල් කළහ. දස වැනි ශත වර්ෂය වන විට නාලන්දා විශ්ව විද්‍යාලය 10 000 කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් වලින් යුතු විශාල විද්‍යා පීඨයක් බවට පත්ව තිබිණි. නාලන්දා විශ්ව විද්‍යාලයෙහි ඉදි කරන ලද සියලු ගොඩ නැගිලි මහල් නිවාස විය. විශ්ව විද්‍යාල භූමියෙහි කැනීම් වලින් හමු වූ ශිලා ලේඛනයක සඳහන් වන පරිදි එහි වලාකුළු ස්පර්ශ කරන කූටාගාර පන්ති ගැන සඳහන්ව තිබී ඇත.




දේශ සංචාරක හියුන්සියෑන් තෙරණුවන් සිය දේශාටන වෘතාන්ත සටහන් වල නාලන්දා විශ්ව විද්‍යාලය පිලිබඳ බොහෝ තොරතුරු සඳහන් කර ඇත.හියුන්සියෑන් භ්‍රමණ  වෘතාන්ත සටහන් වල සඳහන් වන පරිදි මෙම සංඝාවාසය දුටුවන් විස්මයට පත් කරවන්නකි. මෙහි නේවාසික සංඛ්‍යාව දස දහසකට අඩු නොවේ. සියලු දෙනාම මහායානික ග්‍රන්ථ උගත්තෝය. මෙහි නේවාසිකව වාසය කල ආචාර්ය, ශිෂ්‍ය, සේවක, පිරිස අතරින් 1510 ක් ආචාර්ය වරුය. එම ආචාර්ය මණ්ඩලයට ඇපඋපස්ථාන කිරීමට 'මානව' නමින් හැඳින්වුණු එක්දහස් පන්සියයක පමණ පිරිසක් සිටින්නට ඇත. මෙම මානවකයෝ ආචාර්ය වරුන්ට ඇප උපස්ථාන කරන අතරම අධ්‍යයන කටයුතු වලද නිරත වී ඇත. එහි ඉගෙනීමෙහි නියැලී සිටි වැඩි පිරිස භික්ෂූන් වහන්සේ ය. දේශීය විදේශීය මෙන්ම බෞද්ධ අබෞද්ධ ශිෂ්‍යයෝ සිප් සතර හදාළහ.



නාලන්දා විශ්ව  විද්‍යාලයෙහි ඉගෙනීම සිදු කල පිරිස ප්‍රධාන ලෙස කොටස් 03 කි.

1. මූලික අධ්‍යාපනය ලබා අවු:15 සපිරුණ ප්‍රදේශ වාසී ශිෂ්‍යයෝ. මොවුන් පුරා 08 වසරක් අධ්‍යාපනය ලැබිය යුතුය.

2. මූලික හා ද්විතියික අධ්‍යාපනය නිම කර වයස අවු:20 සපිරුණ උපාධි අපේක්ෂකයන් ලෙස.
මොවුන් වසර 03 ක් අධ්‍යාපනය ලැබිය යුතුය.

3. උසස් අධ්‍යාපනය හදාරා අවසන් වූ පසු තම දැනුම ඔප මට්ටම් කර ගැනීමට හෝ විශ්ව විද්‍යාලයෙහි කීර්තිය නිසා ඇතුලත් වන ය.මොවුන් වත්මන් වහරට අනුව පශ්චාත්  උපාධි අපේක්ෂකයන් ලෙස හඳුනා ගත හැක.

නාලන්දා විශ්ව විද්‍යාලයෙහි ප්‍රවේශ පරීක්ෂණය අතිශය තියුණු විය. අපේක්ෂක පිරිස වැඩි වීම එයට හේතු වන්නට ඇත. ප්‍රවේශයෙන්  20% පමණ පිරිසක් පමණක් සමත් වී ඇත.

නාලන්දා විශ්ව විද්‍යාලයෙහි මන්දිර තුනකින් සැදුම් ලත් සුවිසල් පුස්තකාලයක් ද විය. එහි මහායාන බුදුදහමට අදාළ ග්‍රන්ථ පමණක් තැන්පත් කොට තිබී ඇත. එහි   අධ්‍යාපනය සම්පූර්ණයෙන් නිදහස්ය, ආහාර පාන නේවාසික පහසුකම් නොමිලයේ සැපයින. පෙරවීමට එක හා සමාන සිවුරු පවා සැපයින. රජවරු විසින් නාලන්දා මහාවිහාරයට පුද කරන ලද ගම් වර දෙසියයක් පැවතීම නිසා සිවුපසයෙන් කිසිදු අඩුවක් නොවේ. සියලු කාලය ඉගෙනුමට කැප කිරීමට ශිෂ්‍යයින්ට  හැකි විය. සංඝාවාසයේ කාමර භික්ෂූන්ගේ තත්වය අනුව වෙන්කර තිබිණ. උගත්, සිල්වත් වයෝවෘද්ධ භික්ෂූනට විශාල කාමරද ශිෂ්‍ය භික්ෂූන්ට කුඩා කාමර ද ලෙස ද වෙන්කර තිබී ඇත.
අධ්‍යයන කටයුතු වලට මෙන්ම අහාර ගැනීමට, ජල ස්නානයට, බුද්ධ වන්දනාවට, චෛත්යු වන්දනාවට ඇතුළු සියලු කටයුතු සඳහා නියමිත කාල සටහන් තිබී ඇත. විනාඩි 45 කට වරක් බෙරයක් හඬවී ඇත.


නාලන්දා විශ්ව විද්‍යාලයේ පඬිවරු ටිබෙටය, චීනය ආදී රටවල් රැසක ධර්ම ප්‍රචාරණ කටයුතු වල නිරත විය. මෙය සෑම අතින්ම විශිෂ්ට ගනයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් බව පිලි ගැනින. සියලු අංග වලින් පරිපූර්ණ මෙම නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලය පුරා වසර දහසක් පමණ මහඟු සේවයක් සලසා ඇත.

දහතුන වැනි සියවසේ මුස්ලිම් ආක්‍රමණික භාක්තියාර් ඛිල්ජි නාලන්දය විනාශ කළේය. සංඝාරාමය ගිනිබත් විය, අවසානයේ ගින්නෙන් නොදැවුණු පොත් කියවා ගැනීමට වත් භික්ෂුවක් ඉතිරි වී නැත. මම කෲර ඝාතනය සිදු වූයේ ක්‍රි.ව. 1200 දී ය. විනාශ වූ විශ්ව විද්‍යාලය නැවත ඉදි කිරීමට මුද්රිතභද්‍ර තෙරණුවෝ කටයුතු කල නමුත් එය නැවත පිළිසකර කිරීම දුෂ්කර විය.


වසර 1000 ක පමණ භාරතයට ධර්මාලෝකය බෙදා දුන් ශ්‍රේෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ආයතනය එසේ නටඹුන් අතරට එක් විය.


~~  ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~




5 comments:

  1. ම්ම්ම්ම්.. මෙයා දන්න දේවල් ඇ.....

    ReplyDelete
  2. අතීතය සිහිනයක් පමණයි.....

    අද ඉතින් මක් කර කර ආඩම්බර වෙනවා හැර වෙන මොනවා කරන්නද? අපිට ආයෙත් ඒ වගේ සංස්කෘතියක් හදාගන්න පුළුවන්නම්!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ශා .... මාරු .ඇත්තටම ඉතාම අර්ථවත්.ඒ කලේ විතරක් නෙවෙයි දැනට උනත් ඔය මුස්ලිම් හැතිකරේ කරන්නේ ඔය විනාශයම තමයි. ඔය වගේ ලිපි ඇත්තටම හරි වැදගත්.මෝඩ චූන් ලිපි වලට වඩා මෙවැනි ලිපියි අපේ සමාජයට වැදගත්.ජය වේවා !!!!!!!!!!!!!

    ReplyDelete